Total Pageviews

Saturday 22 September 2012

බස් එකේ ගිය පුතා....

කාටත් මතක ඇති නේද අර පෞද්ගලික බස් සේවාව ආරම්භ වෙච්චි කාලෙ ආව පුංචි ඩප්පි බස්.... සමහරු ඒවට ඩප්පි කියල කිව්ව, තවත් සමහරු පාන් බාග කියලත් කිව්ව... මං හිතන්නෙ ගම්වල තමයි මේව වැඩිපුරම දිව්වෙ කියල... ඒවයෙ යනකොට වාඩිවෙන්න ලැබුනත් පහසුවෙන් යන්න බෑ.... බස් එකේ මුල්ලට චිරි බිරිච්චි වෙලා තුන්කුදු ගැහිලා තමයි යන්න වෙන්නෙ... මැදින් වාඩිවෙච්චි එකාට නම් අජරාමර සැප ඔක්කොම ලැබෙනව.... හිටගෙන යන උන්ව, උන්ගෙ අවයව සහ උන්ගෙ කද මළු කරේ තියාගෙන යාමේ වාසනාව වගේම මුල්ලෙ ඉන්න එකා බහින්න ගියාම ලැබෙන සැප වගේ එව්ව.... හිටගෙන යන උන් ගැන නම් ආයෙ කතාකරන්නම දෙයක් නෑ... කොන්ද කෙලින් තියන් යන්න කොහොමටවත් බැරි හින්ද, හතරට පහට නැවිල කාගෙ හරි කිහිල්ලක් යටින් හරි ඔළුව විතරක් දාල හුස්ම ගන්න පොටක් පාදගෙන තමයි යන්නෙ... ආයෙ ඉතින් එන ගඩු හඳවල්, ගං හඳවල් නම් නිමක් නෑ... කවුරු හරි බහින්න ගියාම නම් ඉතින් හිටගෙන ඉන්න පොදියෙන් තුන්කාලකටම බහින්න වෙනව... පිටි පස්සෙන්ම ඉඳගෙන ආවොත් නම් ඉතින් දෙයියන්නෙම පිහිටයි...  

ඔන්න ඔය බස්, පාරෙ දුවපු කාලෙ වෙච්චි සිද්දියක් පත්තරේක තිබුණෙ මෙහෙම.... එක්තරා ගමක ඔය වගේ බස් එකක හිටගෙන යනවලු ටිකක් මොඩ් පහේ නෝන කෙනෙක්... තද රතු පාට ලිප්ස්ටික් එහෙම ගාගෙන.... ඒ කාලෙ දැන් වගේ නෙවෙයි, ගම්වල එහෙම ලිප්ස්ටික් ගාගෙන යන ගෑණු  උදවිය ඇත්තෙම නැති තරම්... ඉතින් මේ නෝනව බස් එකේ ගිය කට්ටියගෙ අවධානයට වැඩිපුර ලක්වෙලා තියෙනව.... මෙහෙම යන අතරෙ බස් එකට නැගල තියෙනව බඩු වගයක් ගෝනියකට දාගත්තු සරම්කාර මනුස්සයෙක්... ගම්වල මිනිස්සුන්ගෙ සුහද බව ගැන කවුරුත් දන්නවනෙ... දැන් ඉතින් මේ මනුස්සය අඳුනනවලු රියැදුරු මහත්තයව.... වැඩිපුර කට්ටිය ඉඳල නෑ හිටගෙන යන්න... ඉතින් මිනිහ පිටිපස්සට යන්නෙ නැතිව දෙකට නැවිල රියැදුරු මහත්තයගෙ කර උඩින් ඔළුව දාගෙන සුහද කතා බහක යෙදිල දැන් ගමන යනවලු... අනේ මෙහෙම යනකොට කොහෙද ඉඳල නොසණ්ඩාල බල්ලෙක් පැන්නලු බස් එක ඉස්සරහින් පාර හරහ.... රියැදුරු මහත්තයත් හිටු කියල ගැහුවලු සුපිරි බ්‍රේක් පාරක්.... අනේ ඉතින් අර හිටගෙන හිටිය උදවිය පොල් පොදිය වගේ ඉස්සරහට විසිවෙලා එක ගොඩේ පෙරලුනාලු... අර නෝන විසි වෙලා ගිය පාර අතට අහුවෙලා තියෙන්නෙ සරම්කාරයගෙ සරම... අයිතිකාරය අල්ලගන්න කලින් උන්ද සරමත් එක්කම බිමට පාත් වෙලා... නෝනට නැගිටගන්න ගිය වෙලාවට සමාන වෙලාවක් ගියාලු සරම අතාරින්න.... එතකම් අර මනුස්සය සරමෙ ඉස්සරහින් අල්ලගෙන පස්ස එළියෙ දාගෙන ඉන්නවලු නෝන සරම අතාරිනකම්... එතකොට තමයි බස් එකේ මිනිස්සු දැකල තියෙන්න ඒ මනුස්සයගෙ තට්ටමක තිබ්බ ලස්සන ලිප්ස්ටික් පාර... බස් එකේ මිනිස්සුන්ට හිනාව නවත්තගන්න බැරිවෙච්චි පාර ලැජ්ජා හිතුනු නෝන, කරකියාගන්න දෙයක් නැතිව මගින්ම බැහැල ගියාලු...

ඉතින් ඔන්න ඔය වගේ බස් එකක දවසක් යන්න උනාලු අර මං කලින් 'අප්පච්චිගෙ තත්තෙ රැකපු පුතණ්ඩියා' කතාවෙ කියපු මලයට.... පොර පොඩියි මේ සිද්දිය වෙනකොට.... මනුගෙ බාප්ප වගේම ලොකු තාත්තත් හිටියෙ අනුරාධපුරේ.... දවසක් ලොකු අම්ම ඇවිත් මල්ලිව එහේ එක්කරගෙන යන්න.... ඒ වෙලාවෙ ගෙදර වාහනේ නොතිබුණු නිසා කවුරුවත් ඉඳල නෑ මේ දෙන්නව ඇරලන්න... ලොකු අම්ම කියා තියෙනව 'මං පුතාව බස් එකේ එක්කන් යන්නං' කියල.... ඒ පාරෙ යන්නෙ අර කිව්ව ජාතියෙ ඩප්පි... ආයෙ සෙනග කට කපල... ඒවයෙ යන්න ඕන වා නම් වා, පෝ නම් පෝ කියල හිතාගෙන... මොකද ටික වෙලාවක් යනකම් හිතාගන්න බෑ තමුන්ගෙ මූණ ඉස්සරහ තියෙන්නෙ තව කාගෙ හරි මූණක්ද වෙන මොකක්ද කියල.... පණ පිටින් බහින්න පුළුවන් වෙයිද කියල ගැරන්ටියකුත් නෑ.... මොකද බස් එකක් යන්නෙ පැයකට විතර සැරයක් හින්ද රියැදුරු මහත්තය හරි අනුකම්පයි බුරුතු පිටින් මග බස් හෝල්ට්වල ඉන්න මිනිස්සු ගැන.... ඒ නිසා දෙකට තුනට නවල හරි දාගන්නව බස් එක ඇතුලට.... හුස්ම ගන්න පුළුවන් විදියට නාහෙ පාදගන්න පුළුවන් වෙන එකම ලොකු දෙයක්... ඒ වෙනකොට මලය කවදාවත් බස් එකක ගිහින් තිබිල නෑ.... ඉතින් පොරත් ලොකු අම්මත් එක්ක බස් එකේ ගිහින්, හවස බස් එකේම ආපහු ආවලු පුදුම සන්තෝසෙකින්..... උඩ පැන පැන අම්ම ළඟට දුවගෙන ආපු පොර කියනවලු, 'අම්මෙ, අම්මෙ... ඒ බස් එකේ ආපු අය නම් හරි ෂෝක්... මට බහිනකම්ම උම්ම දුන්න..' කියල...