Total Pageviews

Monday 23 April 2012

පුංචි කාලෙ අවුරුදු.....!!

කාලාන්තරයකට පස්සෙ දාන පළමුවෙනි පෝස්ටුව... මං නැති අතරෙ මේ පැත්තෙ ඇවිත් හොයපු බලපු, වල් කොටලා ගිය, ලියන්නෙ නැතිවට බැනපු හැමදෙනාටම බොහොම ස්තුතියි හොඳේ.... ඔන්න ආයෙ ලියන්න ගත්ත....


බාගෙට ලියපු කතාවකුත් තියෙද්දි අළුත් කතාවක් ලියන්න හිතුනෙ බින්දිගෙ අවුරුදු කතාව කියෙව්වට පස්සෙ.... හැමෝගෙම පොදු අවුරුදු කතාවට අමතරව වෙනස්ම විදියක අවුරුදු අත්දැකීමක් මට තියෙන හින්දා....


මං පුංචි කාලෙ මට මතකයි අවුරුදු එනකොට බලන බලන හැමතැනම අමුතුම වෙනසක් පෙනුනු හැටි..... පරිසරයත් අමුතුයි.... ගස් කොළං පවා හරියට අළුත් වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේ..... මිනිස්සුත් අමුතුයි.... වෙනදට මූණ බලල ඔළුව හොල්ලලා ගියාට හිනාවෙන්නෙ නැති මිනිස්සුත් මේ කාලෙට හිනා වෙනවා.... අපි වගේ පොඩි උන් ගැන වෙනදා වගේ හොයල බලන්න අම්මලට වෙලාවක් නැති හින්දා අපට රජ මගුල්.... මට මතකයි අහල පහළ ගෙවල්වල ගෑණු උදවිය හතර පස් දෙන විතර එක ගෙදරකට එකතු වෙලා කැවිලි පෙවිලි හදන හැටි.... අද එක ගෙදරක කැවුම් හැදුවා නම් හෙට තව ගෙදරකට එකතුවෙලා මුං අතිරස හදනවා.... තව ගෙදරකට එකතුවෙලා කේක් හදනවා..... ඔය විදියට එක එක කැවිලි ජාතියට අදාල එක්ස්පර්ට්ලා ඉන්න ගෙවල්වලට එකතුවෙලා තමයි වැඩේ කෙරෙන්නෙ.... අපේ ගෙදර හැදුවෙ කිරි ටොපියි, අළුවායි....එහෙම දාට මං හොර අල්ල අල්ල බලන් ඉන්නෙ ටින් කිරි ටින් ටික එකතු කරගන්න.... ඒකෙ ගෑවිලා තියෙන ටින් කිරි ටික ලෙවකන්න..... මං අහල පහල ගැවසෙනව දකිනකොට අපේ අම්මට හරි කේන්තියි ඔය දවස්වලට..... ගෙදර පිට අයත් ඉන්දැද්දි අලජ්ජකම් කරනව කියල.... ඒ හින්ද තරහටම අම්ම ටින් එක පුළුවන් තරම් හූරලාම අරගන්නව ලෙවකන්න දෙයක් නැතිවෙන්න..... ඒත් ඉතින් පෙරේතකමට බෙලෙක්ක ලෙවකන්න ගිහින් දිව කපා ගත්තු දවසුත් නැතුව නෙවෙයි.....  කිරි ටොපි හදලා අයින් කළාට පස්සෙ ඒ හදපු භාජනේට උණු වතුර දාලා අර ගෑවිලා තියෙන ඒවා දිය කරගෙන හදාගන්න බීම එක එහෙම කොහොමද.... හික්ස්.... කරපු පෙරේතකම් තමයි වැඩිය මතක..... ඕක කරල තියෙන අය දන්නව ඇති රස...හ්ම්ම්ම්ම්....


ඉතින් ඔය කාලෙට කරන කැවිලි හැදිලි, ගෙවල් අස් කිරිලි, අළුත් ඇඳුම් මැහිලි ඔක්කොම වේලපහින් ඉවර කරන් අපි පේවෙලා බලන් ඉන්නෙ අපේ මාමලා සෙට් එක එනකම්.... ඒ කාලෙ අපේ ලොකු මාමා ඇරුනම අනිත් අය අවිවාහකයි.... ඔය සෙට් එකටම එකතුවෙන අම්මගෙ මාමා කෙනෙකුගෙ පුතෙකුත් හිටියා.... එයා හේමසිරි බාප්පා..... මේ සෙට් එකම අවුරුද්දට ගෙදර එන්නෙ එකට එකතුවෙලා එකම දවසෙ.... තනියම නෙවෙයි... තව ඒ වගේම යාළුවො සෙට් එකකුත් එක්ක.....  අවුරුද්දට ඔහොම එන කණ්ඩායමේ අනිවාර්යයෙන්ම හය හත් දෙනෙක් විතර ඉන්නවා.... ඒ එනකොට තෑගි බෝග විතරක් නෙවෙයි, සර්පිනාවක් ඇතුළු සංගීත භාණ්ඩත් කර ගහගෙන තමයි එන්නෙ..... කලින්ම එන දිනේ කියල අම්මට ලියුමක් එන නිසා එදාට උදේ ඉඳන් මග බලන් ඉන්නෙ කට්ටිය ඈතින් මතු වෙනකම්...... හැමදාම බරට බර බෑග් එකක් කරේ එල්ලගෙන සර්පිනාවත් කරේ තියාගෙන ඉස්සෙල්ලම මතුවෙන්නෙ කළු මාමා, අම්මගෙ බාලම මල්ලි..... ඊට පස්සෙ අනිත් සෙට් එක.... ඒ එන්නෙත් අහළ පහළ ගෙවල්වල අය මෙයාල පාර දිගේ පෙළට එනව දැක්කම අහන ප්‍රශ්ණවලට කෑගහ ගහ උත්තර දෙන ගමන්මයි....... සද්දෙ ඇහෙනකොටම මං පිම්ම ගහල දුවනව පාරට.... ගිහින් මොනව හරි මට උස්සන් එන්න පුළුවන් දෙයක් තිබ්බොත් ඒකත් අතට අරන් තමයි මං නට නට ගෙදරට ගොඩ වෙන්නෙ..... ඒ එනකොට අපේ ගෙදර හෙන බත් මැලයක් හෙම ලෑස්ති පිට තියෙන්නෙ.... කාලා එහෙම ඉවර වෙලා කට්ටිය කතාවට බැස්සම අහළ ගම් හතකට ඇහෙන්න සද්දෙයි.... කතාව විතරක් නෙවෙයි, හිනාවත් එහෙම තමා..... මමත් ඉතින් එක්කෙක්කෙනාගෙ කට දිහා බල බල කාගෙ හරි ඔඩොක්කුවකට වෙලා කකුල් පද්ද පද්දා හිනාවෙවී අර කියන ඒවා අහගෙන ඉන්නව..... අපේ මාමල සෙට් එකයි, අම්මයි, තාත්තයි ඔහොම වෙලාවට ආමන්ත්‍රණය කරගන්න විදියකුත් තිබුණා..... තාත්තට කිව්වෙ 'සුදු පුතා' කියල... අම්ම 'දුව'.... කළු මාම 'කළු හාමිනේ'.... ඔය වගේ.... ඒ කාලෙ මං කොච්චර ඇහුවත් ඒක ඇතිවුනේ කොහොමද කියල කවුරුවත් මට කිව්වෙ නෑ..... මං ඉතින් හිතාගත්ත මොකක් හරි කුණුහරපයක් වෙන්න ඇති කියල..... මොකද මෙයාල එකතු උනාම මට නොතේරෙන්න ඔය වගේ නෝටි කතා කියල උගුඩුවො වගේ ඉන්න හරි දස්සයි..... පස්සෙ කාලෙකදි නම් මං ඒව අල්ලගත්ත....


මෙයාල මේ එන්නෙ අළුත් අවුරුද්දට දවස් හතර පහකට කලින් නිසා කඩවල්, හොර තිප්පොලවල් එහෙම ඒ වෙනකොටත් ඇරලා.... ඒ නිසා හවස් වෙනකොට කට්ටිය ගාණට පල්ලම් බැහැලා පොඩි මීවිතකින් එහෙම සප්පායම් වෙලා තමයි ආපහු ගෙදර එන්නෙ..... 'සුදු පුතා' අමධ්‍යප සංගමේ නිසා කවුරුවත් ගෙදරට ගේන්නෙ නෑ..... ඒ වෙලාව වෙනකොට ගෙදර රෑට එහෙම උයල ඉවර කරලා කවුරුත් වගේ සාලෙට එකතුවෙලා තමයි ඉන්නෙ.... ඒ වගේම ඔය ගෙදර තියෙන හැඳි, බෙලෙක්ක වගේ සංගීත භාණ්ඩ ටිකත් සාලෙ කොනකින් තියලා, පුටු ටික හෙම අස් කරලා බිත්තිය අයිනට ඇදලා, බිම පැදුරු දාලා ලෑස්ති කරලා තියෙන්නෙ කට්ටිය ආපහු එනකොට..... සමහරවිට අපේ ගෙදරද දන්නෑ මුලින්ම පැදුරු පාටි පටන් ගත්තෙ...හික්ස්.... කට්ටිය ඉතින් ඇවිල්ලා පොඩි විවේකයක් හෙම අරගෙන, මගදි හම්බවුනු පරණ යාළුවො ගැන විස්තර හෙම කියන ගමන් සංගීත භාණ්ඩ ටිකත් ටියුන් කරගෙන ඔන්න පටන් ගන්නවා සින්දු කියන්න..... මේ සාජ්ජෙ නතර වෙන්නෙ පාන්දර එකට දෙකට විතර...... ඒ අතරතුර තේ වඩි දෙක තුනක් විතර යනවා ඇරෙන්න කෑමක් නෑ..... කෑම කන්නෙ සාජ්ජෙ නතර උනාට පස්සෙ..... අහළ පහළ ගෙවල්වල කට්ටියත් නිදි නැතුව ඔය පාන්දර වෙනකම් සින්දු අහගෙන ඉන්නවා..... කවුරුවත් කවදාවත් කිසිම විදියක චෝදනාවක් කළේ නෑ.... පහුවදාට සමහර අය වෙන සින්දු යෝජනා කළ අවස්ථාත් තිබුණ.... අපරාදෙ කියන්න බෑ මගෙ මාමලා සෙට් එකට ගායනා හැකියාව උපරිමෙන්ම පිහිටලා තියෙනවා.... ඒ නිසා ඕනම කෙනෙකුට කැත නැතුව අහගෙන ඉන්න පුළුවන්..... එයාල කවදාවත් බයිලා සින්දු කිව්වෙ නෑ මට මතක විදියට.... නූර්ති ගී වගේම සම්භාව්‍ය ගණයට වැටෙන සින්දුයි, ජනප්‍රිය සින්දුවල තාලෙට එයාලම නිර්මාණය කරගනිපුවයි තමයි කිව්වෙ..... සමහර දවස්වලට අපි කැසට් පීස් ඉවරවෙනකම් ඒව ටේප් කරනව...... ඒ කාලෙ නංගිල පුංචි නිසා උන්දලට ටිකක් රෑ වෙනකොටම වැටුනු තැන්වල නින්ද යනව... ඒත් මට නෙවේ යාන්තමින්වත් නිදිමතක් එන්නෙ..... මම නිදාගන්නෙ අර කට්ටියත් එක්ක කෑම කාලා එයාලත් නිදාගන්න ගියාට පස්සෙ..... එයාල කෑම කන අතරෙ අම්මා සාලෙ ලෑස්ති කරනවා අර පැදුරුවලටම බෙඩ් ෂීට්, කොට්ට, පෙරවන රෙදි දාලා නිදාගන්න..... ඒ මොනතරම් පහුවෙලා නිදාගත්තත් පස්සෙන්දා හත විතර වෙනකොට කට්ටිය නැගිටිනවා.... එවෙලට තමයි හොඳම හරිය තියෙන්නෙ..... 


පස්සෙන්දා නැගිට්ටම දහ පාළොස් දෙනෙකුට යන්න තිබ්බෙ එකම ටොයිලට් එකට.... වැඩේ බරපතල උනේ සුටුස් ගාල රාජකාරිය කරන් එන කට්ටිය වගේම ගිහින් ඒකෙ පදිංචි වෙන කට්ටියත් හිටපු නිසා..... 'සුදු පුතාත්' එහෙම පදිංචි වෙන කෙනෙක්.... ඒ නිසා හැමෝම බලන්නෙ එයා යන්න ඉස්සරින් පැන ගන්න.... එහෙම වෙලාවට තාත්ත ගිහින් ටොයිලට් එක කිට්ටුව කොහේ හරි හැංගිලා ඉඳල ඇතුලෙ එකා එළියට ආව ගමන්ම ටක් ගාල රිංගගන්නවා.... ඉතින් අනිත් උන් යනු බොරු.....  බලන් ඉඳල වැඩක් නැති නිසා ඔය අතරතුර යන්න ඕන වෙන කට්ටිය දුවනව අල්ලපු ගෙදරට.... අනේ ඒ මිනිස්සුත් මොනවත් කියන්නෙ නෑ.... ඔය සිදුවීම් ටික ඔහොම වෙන අතරෙ සාලෙට එකතුවෙලා උදේ තේ කට්ට ගහන ගමන් කට්ටිය පටන් ගන්නවා කලින් දවසෙ සාජ්ජෙ විවේචනය කරන්න.... ඔය අතරතුර හිනාවෙලා පණ යන කතා එහෙම අනන්තයි.... සමහරදාට කවුරුහරි ඒවා හොරෙන් ටේප් කරලා පස්සෙ ඇහෙන්න සලස්වනවා..... සමහර කතා ඇහෙනකොට ඒවා කියපු උන්ට පොළොව පළාගෙන යන්න හිතුනු වෙලාවලුත් තිබ්බ..... ඔය කටයුතු ටික ඉවර වෙලා උදේට කෑම කන වෙලාව එනකොට තමයි මගේ හිත හීනියට හීනියට රිදෙන්න ගන්නෙ..... කෑම කාලා ඉවරවෙලා මාමල තෑගි බෙදන වග දන්නව උනාට මට ඕන ඒක නෙවෙයි.... මාමලත් එක්ක ගමේ යන්න.... තාත්තගෙ පස්සෙන් නහයෙන් අඬ අඬා කොච්චර ඇවිද්දත් තාත්ත නෙවෙයි ඉඩ දෙන්නෙ එයාලත් එක්ක යන්න.... අම්මට කිව්වට වැඩක් නෑ.... අම්ම ඇඟ බේරගන්නෙ තාත්තගෙන අහල යන්න කියල.... අන්තිමට මාමලට ගමේ යන්න කලින් හැමදාම ඇඳේ වැටිල කොට්ටෙ බදන් අඬන මාව නලවන්න වෙනව..... තාත්ත ඉතින් අවුරුදු ඉවර උනු ගමන්ම මාව ගමේ එක්කන් එනව කියන දේසපාලු පොරොන්දු දීල මං අඬන එක කොහොම හරි නවත්තගන්නව..... ඒත් මම ශරීරයෙන් ගෙදර හිටියට මගේ හිත ගමේ යනව මාමලත් එක්ක.... මගේ පපුව පැලෙන්නෙ නැති ටික විතරයි..... 

'ඉතින් පුතේ අපි ගමේ යනවනෙ.... අඬන්නැතුව ඉන්න.... අර නංගිලත් ඉන්නෙ...' කටේ ඇඟිලි ගහන් මං අඬන දිහා බලාගෙන වටේ කැරකෙන නංගිලාව පෙන්නලා අම්ම මගේ ඔළුව අත ගගා කියනව එහෙම වෙලාවට.....
'එයාලට මොකෝ... එයාල දන්නවයැ මං වගේ.....'
අම්ම ඉන් එහාට කතා නොකරන්නෙ කතාව ඇත්ත බව දන්න හින්ද....
නංගිලා කවදාවත් මාමලත් එක්ක එහෙම විනෝදෙන් ඉඳල නෑ..... එයාල අම්මයි තාත්තයි නැතුව කොහෙවත් ගියේ නෑ.... ඉතින් උන් දෙන්නට තේරෙනවය තමුන්ට මග ඇරෙන්නෙ මොනවද කියල....


ප.ලි. පෝස්ටුව ගොඩක් දිග වැඩි වෙන නිසා ඉතුරු ටික දාන්නම් ඊළඟ පෝස්ටුවෙන්.... මගේ අවුරුදු තවම ඉවර නෑ... දෙවෙනි කොටස පටන් ගන්නෙ ගමෙන්....